Total Pageviews

Thursday, July 21, 2016


මතු සම්බන්ධයි (අවසාන කොටස)






උඹ මට කියපු හැම වචනයක්ම බොරු. ඇත්තටම බැලුවොත් උඹේ වැරැද්දක් නෑ. මොකද උඹ කියපු කරපු හැමදේම මම විශ්වාස කළේ බොරු කියලා දැනගෙන. උඹට මතකද ඒ දවස්වල කන්න වේලක් හොයාගන්න මං ගෙයක් ගානේ හිගා කාපු හැටි. ඒ මට කන්න නෙමෙයි. උඹට කන්න දෙන්න. ඒත් උඹ කළේ ඒ කෑමවලින්ම බඩ පුරවගෙන අහළ පහළ ගෙවල්වල හිටපු පිරිමි හැමඑකෙක්ම මට පාවලා දීපු එක. මං ආසාවෙන් සාත්තු කරපු කෙස් වැටිය උඹ කිසිම හිතක් පපුවක් නැතුව කපලා දැම්මා. උඹ එහෙම කළේ මං වෙන මිනිහෙක් එක්ක යයි කියලා.
කරන්න පුළුවන් හැම ජරා වැඩක්ම කරලා අන්තිමට මගෙ හය හතර නොතේරෙන අහිංසක නංගිවත් උඹ දූෂනය කළා. දෙයියනේ උඹ නම් තිරිසනෙක්. ඒකි ගෙට වෙලා ගෙවුනෙ දවස් කීයද?  ඒක අහපු වෙලාවෙ මට මොනවා උනාද කියලා මට මතක නෑ. උඹ මගෙ කකුල් දෙක අල්ලලා වදිද්දිත් මං උඹට මන්නෙන් කෙටුවා. උසාවියෙදි කිව්වා මන්න පාරවල් 32ක් උඹේ ඇගේ තිබුණා කියලා.
ඒත් මට දුකක් හිතුනෙ නෑ.
මට දුක මගෙ අහිංසක නංගි ගැන. කටපුරා උඹට අයියා කියපු ඒකිව මොන හිතකින්ද උඹ විනාශ කළේ.  ඒකිගෙ බඩට දැන් මාස හතක්. ඉපදෙන්න ඉන්නෙ ගෑණු දරුවෙක් කිව්වම මාව සීතල වුණා. ඒත් දැන් මට බයක් නෑ. උඹ වගේ එකෙක්ට තාත්තා කියනවට වඩා ඒකි අවජාතක එකියක් වුණු එක නම්බුවක්. කවදහරි දවසක තමන්ගෙ තාත්තව මැරුවෙ ඒකිගෙම නැන්දා කියලා දැනගත්ත දවසක ඒකි මට දණගහලා වදියි. මැරෙන්න කලින් මේ හිර කූඩුවෙන් නිදහස් වුනොත් මං ඒකිව මේ ලෝකෙට තනියම මූණ දෙන්න පුළුවන් ශක්තිමත් ගෑනියෙක් කරනවා. ගෑනියෙක් වුණු හින්දම තමන් දුර්වලයි කියලා හිතාගෙන  ඉන්න හැම ගෑනියෙක්ටම මට කියන්න දෙයක් තියෙනවා. ශරීර ශක්තියෙන් දුර්වල වුණත් ගෑනුන්ගෙ හිත්  හරිම ශක්තිමත්. ඒ ශක්තියට පිරිමි දාහක් පරාදයි.  ඒ නිසා කවදාවත් තමන් දුර්වලයි කියලා හිතන්න එපා. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. මාව පාඩමක් කරගන්න. ගෑනුකම තමයි අපිට තියෙන ලොකුම හයිය. ඒක කවදාවත් බාල්දු වෙන්න දෙන්න එපා.. පිරිමි හිතන් ඉන්න තරම් ගෑනු අපි දුර්වල නෑ කියලා මේ මුළු ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා කියපල්ලා. එතකොට මං නැතත් මං මැරුණු දවසක මගෙ ආත්මෙට හරි සැනසීමක් ලැබෙයි....
                                                                                                                        නිමි.

4 comments: