Total Pageviews

Saturday, July 30, 2016

මදුරාපුර වැසියෙකුගේ හදගැස්ම




මෑණියනී පත්තිනී.. මගේ දුක අසාපන්..
නුඹෙ කෝප ගින්නෙන්ම මා ගතත් දවාපන්..
සැමියා මියගිය දුකට අපෙ වරද   කියාපන්..
මගේ පත්තිනිය නෑ කොහෙද ඈ සොයාපන් ..

කුලී වැඩ කළේ මා අප දිවිය රැකගන්න..
සෙවනැල්ල මෙන් නිතර ඇය සිටියා සවි දෙන්න..
හිග වුවත් මිල මුදල් ජීවිතය ගෙනයන්න..
සතුට සැනසුම අපිට තිබුණා නිති ඇතිවෙන්න..

 කිසිවිටත් ඈ වෙනත් පිරිමියෙකු පැතුවෙ නෑ..
මගෙ තිබුණු අඩු පාඩු ගැන දොසක් කීවේ නෑ
වදනකින් පවා මට වැරැද්දක් වුණේ නෑ..
දිළිදුකම පතිදමට හානියක් කළේ නෑ..

දෙවියනී ඔබ මෙන්ම ඇයද විය ගැහැණියක්..
පතිනිදම් ඔප්පු කළ ඔබ වුණා දේවියක්..
ලෝකයට නැතිවුනත් මගෙ බිරිය පතිනියක්..
රැකගත්ත පතිදමට නැද්ද වටිනාකමක්..

සැමියගේ වියෝවෙන් කෝප ගිනි ඇවිලුනේ..
මගෙ ගෙදර පහන නෑ එයින් පසු දැල්වුනේ..
බුදු වු දිනකවත් මට කියාපන් දෙවියනේ..
දිළිදුකම වරදක්ද  පතිනිදම් යටවුනේ..

Friday, July 29, 2016

තරුවක හදගැස්ම















අහිතක් නෑ මගෙ නොවුනට සද සාවියෙ මං..
දුරින් ඉදන් පෙම් කරනා තනි තරුවක් මං..
නුඹෙ අයිතිය හිරු කුමරුට බව දැනුනා නම්..
තරු පොකුරෙම ඉන්න තිබුණා තනි නෑ එහෙනම්..

රැයක් දවාලක් නොමැතිව නුඹ ළග සිටියත්..
උරුම වෙන්නෙ නෑ මට නුඹගේ සිසිලසවත්..
නුඹ නිහඩයි නෑ වදනක් හිත හදන්නවත්..
අමාවකෙත් මග බැලුවා නොඑන බව දැනත්..

ළග බව දැනුනත් නුඹ මට හැමදාමත් දුරයි..
මම පුංචියි කවදත් මම නුඹෙ එළියට යටයි..
නුඹ දන්නේ නෑ කිසිවක් දුක දැනුණේ මටයි..
හිරු නිවුනත් නොනිවී සිටි එකම තරුව මමයි..

Thursday, July 28, 2016

දියණියකගෙ හදගැස්ම (මණිමේඛලා)
















සිහිනෙකින් පවා දැක නැතත් මා මගෙ පියා..
කෝවලන්ගේම දූ මමයි මණිමේඛලා..
මතක දා පටන් මෑණියන් ඇස් බොදවෙලා..
පියාණෙනි හැඩුවෙ ඔබෙ මතක සිහිවෙලා..

නැළවුවේ මාව ඔබේ ගුණ ගය ගයා..
දැකගන්න ඔබේ රුව සිටියෙ මා පුල පුලා..
මෑණියන් සිටි ලෙසම නිතර මග බල බලා..
මාද සිටියා ඇගේ උණුහුමට ගුලි වෙලා..

කන්නගී නමින් තව මවක් සිටිනා බවක්..
මාධවී මෑණියන් කීවෙ ගොතලා කවක්..
දේවතාවියක් බදු පිංවන්ත රූපයක්..
මැවුණා මා දෙනෙත් අග දස දහස් වාරයක්..

ගිහිගෙයට කැමැත්තක්  නෑ තිබුණෙ මා සිතේ
ඒ නිසයි කහ සිවුර දැවටුවේ මා ගතේ..
පියානෙණි මැණික මම බව දනිමි ඔබ නෙතේ..
ඒත් ඔබ නොකියාම අද නික්ම ගොස් ඇතේ..

කන්නගී මෑණියනි පැමිණියෙමි ඔබ සොයා..
කී ලෙසම මෑණියන් පෙන්නුවා ඔබ දයා..
දනිමි මා මතු දිනෙක ඔබ බුදුන් වෙන නියා..
ඒ භවයෙදීවත් මුණගස්වන්න මා පියා..


Wednesday, July 27, 2016

නෘත්‍ය රාජිනියකගේ හදගැස්ම (මාධවී)


















කෝවලන්... සත්තකයි මා ඔබට පෙම් කළා..
පළමු දැකුමෙන්ම ඔබ මගේ හද ගෙන ගියා..
දිදුළනා ඔබෙ දෑස මාව මුසපත් කළා
දිවි පුරා ඔබෙ වෙන්න මං මටම දිවුරුවා..

මුළු ලොවක් ඉදිරියේ මට ඔබව හිමිවුණා..
අමතකද ඔබ එදා මගෙ නළල සැරසුවා..
සිරියහනෙ කිව් කතා මාව නිති සැනසුවා..
කෝවලන් සත්තකයි මා ඔබට පෙම් කළා..

ඔබ මෙන්ම ඔබෙ සිරුර මගේ යැයි කිව් දිනේ..
සිතුණා මට හැම භවේ ඔබය මගෙ හිමි වුණේ..
මේ භවයෙදිත් ඔබ අහිමි බව සැළවුණේ..
එදිනමයි මගෙ කුසට මේඛලා පැළදුනේ..

දරාගත නොහී මා හැමදාම වැළපුණා..
ඒ හඩින් මුළු ලොවක් කම්පිතව සෙළවුණා..
කන්නගී හැර ඔබට කිසිවෙකුත් නොපෙණුනා..
කිරි කළය ඇය ඔබට ගොම බිදුව මම වුණා..

අදුරු මාවතක ඔබ මා අතරමං කළා..
මගෙ එකම සැනසීම වුණේ මණිමේඛලා..
ඔබෙ නමින් හද තුටින් ඇයව ඇති දැඩි කළා..
මියෙනතුරු කෝවලන් මා ඔබට පෙම් කළා..
සැමියෙකුගෙ හදගැස්ම  (කෝවලන්)















කන්නගී.....

උඹට මතකද ඒ ලස්සන දවස්..
අපි දෙන්නා කොච්චර සතුටින් හිටියද
අනේ මන්දා  කාගෙ ඇස්වහක් වැදුනද කියලා..

මට එදා මාධවීගෙ නැටුම් බලන්න යන්න
ඇදුමක් තෝරලා දුන්නෙත් උඹ..
උඹේ හිතේ අහිතක් තිබුණෙ නෑ..
ඒ ගමන අපේ ජීවිත හුගක් වෙනස් කළා කන්නගී..
ඒත්... මාව විශ්වාස කරපං..
උඹට වැරැද්දක් කරන්න මගෙ තුන් හිතකවත් තිබුණෙ නෑ..

මට දාව දරුවෙක් වදලා දෙන්න බැරි වුණාට
කවදාවත් අපේ සිරියහන මට එපා වුණේ නෑ..
ඒ තරමටම උඹ මට ආදරේ දුන්නා..
ඒ ආදරේට මං වැරැද්දක් කළේ නෑ කන්නගී
මොකද මං කවදාවත් මාධවීට ආදරේ කළේ නෑ..

මාධවීගේ සරාගී ඇස්වලට මං වශී වුණා
එක මෙහොතකට මට මාවම අමතක වුණා..
මගෙ තිබුණු හැම දේපළක්ම විතරක් නෙමෙයි
උඹට උරුම මණිමේඛලාවත් මාධවීට අයිති වුණා..

උඹ වැරදි නෑ කන්නගී...මාධවී වැරදිත් නෑ
උඹලා දෙන්නගෙම වැරදිකාරයා මම..
ඒ වැරැද්දට මට දඩුවම් ලැබුණා..
මණිමේඛලාව නොදැකම මට මැරෙන්න වුණේ ඒ හින්දා..

උඹ සදහටම මගෙ පත්තිනිය..
ඒක මට විතරක් නෙමෙයි උඹ මුළු ලෝකෙටම ඔප්පු කළා..
කවදහරි උඹ බුදු වෙන දවසක
උඹෙන් එකම එක  බණ පදයක් අහන්න
උපදින හැම භවයකම මං  පෙරුම් පුරනවා..
එදාටවත් උඹ මං වෙනුවෙන් රැකගත්ත පති දහමට
වටිනාකමක් ලැබෙයි කන්නගී...




Tuesday, July 26, 2016

පතිනියකගේ හදගැස්ම (කන්නගී)

Sunday, July 24, 2016




බඹරෙකු සොයා යන මලක්














මල් බඹරු හොයාගෙන යන් නැති බව ඇත්ත..
ඒත් මං යනවා..
බඹරු මං ළගට එන් නැති නිසා නෙමෙයි
මං කැමති බඹරව හොයාගන්න..
බඹරෙකුට පුළුවන් නම්
තමන් කැැමති මලක් හොයාගෙන යන්න
ඇයි මලකට බැරි..
ඇත්ත.. බඹරුන්ට වගේ මට ඉගිලෙන්න බෑ..
ඒත් මගෙ සුවදට පුළුවන්
මං කැමති කෙනා ළගට මාව එක්කගෙන යන්න..
මං යනවා
ගමන මගෙ මරණයෙන් කෙළවර වුණත්.......?
මං යනවා.

Thursday, July 21, 2016


මතු සම්බන්ධයි (අවසාන කොටස)






උඹ මට කියපු හැම වචනයක්ම බොරු. ඇත්තටම බැලුවොත් උඹේ වැරැද්දක් නෑ. මොකද උඹ කියපු කරපු හැමදේම මම විශ්වාස කළේ බොරු කියලා දැනගෙන. උඹට මතකද ඒ දවස්වල කන්න වේලක් හොයාගන්න මං ගෙයක් ගානේ හිගා කාපු හැටි. ඒ මට කන්න නෙමෙයි. උඹට කන්න දෙන්න. ඒත් උඹ කළේ ඒ කෑමවලින්ම බඩ පුරවගෙන අහළ පහළ ගෙවල්වල හිටපු පිරිමි හැමඑකෙක්ම මට පාවලා දීපු එක. මං ආසාවෙන් සාත්තු කරපු කෙස් වැටිය උඹ කිසිම හිතක් පපුවක් නැතුව කපලා දැම්මා. උඹ එහෙම කළේ මං වෙන මිනිහෙක් එක්ක යයි කියලා.
කරන්න පුළුවන් හැම ජරා වැඩක්ම කරලා අන්තිමට මගෙ හය හතර නොතේරෙන අහිංසක නංගිවත් උඹ දූෂනය කළා. දෙයියනේ උඹ නම් තිරිසනෙක්. ඒකි ගෙට වෙලා ගෙවුනෙ දවස් කීයද?  ඒක අහපු වෙලාවෙ මට මොනවා උනාද කියලා මට මතක නෑ. උඹ මගෙ කකුල් දෙක අල්ලලා වදිද්දිත් මං උඹට මන්නෙන් කෙටුවා. උසාවියෙදි කිව්වා මන්න පාරවල් 32ක් උඹේ ඇගේ තිබුණා කියලා.
ඒත් මට දුකක් හිතුනෙ නෑ.
මට දුක මගෙ අහිංසක නංගි ගැන. කටපුරා උඹට අයියා කියපු ඒකිව මොන හිතකින්ද උඹ විනාශ කළේ.  ඒකිගෙ බඩට දැන් මාස හතක්. ඉපදෙන්න ඉන්නෙ ගෑණු දරුවෙක් කිව්වම මාව සීතල වුණා. ඒත් දැන් මට බයක් නෑ. උඹ වගේ එකෙක්ට තාත්තා කියනවට වඩා ඒකි අවජාතක එකියක් වුණු එක නම්බුවක්. කවදහරි දවසක තමන්ගෙ තාත්තව මැරුවෙ ඒකිගෙම නැන්දා කියලා දැනගත්ත දවසක ඒකි මට දණගහලා වදියි. මැරෙන්න කලින් මේ හිර කූඩුවෙන් නිදහස් වුනොත් මං ඒකිව මේ ලෝකෙට තනියම මූණ දෙන්න පුළුවන් ශක්තිමත් ගෑනියෙක් කරනවා. ගෑනියෙක් වුණු හින්දම තමන් දුර්වලයි කියලා හිතාගෙන  ඉන්න හැම ගෑනියෙක්ටම මට කියන්න දෙයක් තියෙනවා. ශරීර ශක්තියෙන් දුර්වල වුණත් ගෑනුන්ගෙ හිත්  හරිම ශක්තිමත්. ඒ ශක්තියට පිරිමි දාහක් පරාදයි.  ඒ නිසා කවදාවත් තමන් දුර්වලයි කියලා හිතන්න එපා. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. මාව පාඩමක් කරගන්න. ගෑනුකම තමයි අපිට තියෙන ලොකුම හයිය. ඒක කවදාවත් බාල්දු වෙන්න දෙන්න එපා.. පිරිමි හිතන් ඉන්න තරම් ගෑනු අපි දුර්වල නෑ කියලා මේ මුළු ලෝකෙටම ඇහෙන්න කෑ ගහලා කියපල්ලා. එතකොට මං නැතත් මං මැරුණු දවසක මගෙ ආත්මෙට හරි සැනසීමක් ලැබෙයි....
                                                                                                                        නිමි.

Wednesday, July 20, 2016

මතු සම්බන්ධයි 02





සමහරු කියනවා ආදරේ කරපු හිතකට කවදාවත් වෛර කරන්න බෑ කියලා. ඒත් ඒක ඇත්ත නෙමෙයි. මං උඹට වෛර කරනවා. මේ ආත්මෙදි විතරක් නෙමෙයි උපදින හැම ආත්මෙකම වෛර කරනවා. ඒ තරමටම මට උඹව පිළිකුල්. මට කියපං උඹට දාව මගෙ බඩට ආපු දරුවො කීයක් උඹ විනාශ කළාද කියලා. ඒ එකෙක්ටවත් මේ ලෝකෙ එළිය දකින්න නොදී උඹ මරාගත්තා. ඒ දවස්වල ඒ ගැන දූක් උනාට අද මම ඒ ගැන සතුටු වෙනවා. මේ නරාවළේ ඉපදෙනවට මඩා උන් මැරිලා ගිය එකම තමයි හොද. තිරිසන් සතෙක්වත් උඹ තරම් නරක නෑ. ඒත් මගෙම එකෙක් එක්කවත් මං උඹගෙ වැරැද්දක් කිව්වෙ නෑ. එහෙම කළේ උඹ කවදහරි හැදෙයි කියලා. ඒත් උඹ කළේ ඒ හැමදේකින්ම අයුතු ප්‍රයෝජන ගත්ත එක. ඉවසීමේ සීමාව ඉක්මවලා ගියත් අවුරුදු 12ක් මං උඹත් එක්ක පවුල් කෑවා. මං දන්නවා අද මං මුළු ලෝකෙටම කෑ ගහලා කිව්වත් මං කියන කිසිම දෙයක් උඹට ඇහෙන් නෑ කියලා. එත් මගේ කතාව මේ ලෝකෙ ඉන්න හැම ගෑණියෙක්ටම වගේම හැම පිරිමියෙක්ම දැනගන්න ඕනෙ.  ඒකෙන් හැමෝම පාඩමක් ඉගෙන  ගන්නවා නම් උඹව මරපු වැරැද්දට එල්ලූම් ගස් ගියත් මට කමක් නෑ.
                                                                                                                මතු සම්බන්ධයි

Sunday, July 17, 2016

මතු සම්බන්ධයි


                                






උඹ දන්නෙ නෑ මං උඹට කොච්චර ආදරේ කළාද කියලා. උඹට එහෙම දැනගන්න උවමණාවක් තිබුනෙත් නෑ.. මේ පපුවට උඹ දුන්නෙ ගෑනියෙකුට උහුලගන්න පුළුවන් විදියෙ දුකක් නෙමෙයි. ඒත් මං ඉවසුවා. උඹ කියපු හැම වචනයක්ම රාජ අණක් කියලා හිතලා මං පිළිපැද්දා. ඒ මගෙ නිවටකමට නෙමෙයි. උඹට තිබුණු ආදරේට. අද මං වචනයක් ගානේ උඹ කියලා කිව්වට හොදට මතක් කරලා බලපං මේ වෙනකල් මං එහෙම වචනෙකින්වත් උඹට වැරැද්දක් කළාද කියලා. තාත්තත් නැතුව දහදුක් විදලා මාව හදාගත්ත මගෙ රත්තරං අම්මගෙ ආදරේට පයින් ගහලා උඹ ළගට ආපු දවසෙ ඉදන් මං උඹට  දෙවියෙකුට වගේ සැලකුවා. ඒත් උඹ......?
                                                                                                      -මතු සම්බන්ධයි-

Thursday, July 7, 2016

සිතක් තනි වී...

ලියන්නට දහසකුත් දේ වෙතත් ඔබ නමින්..
ලියන්නට නොදනිම්..
සිතන්නට සහසකුත් දේ වෙතත් හදවතින්..
සිතන්නට නොදනිම්..
කියන්නට රහසකුත් වෙති නමුත් වදනකින්
කියන්නට නොදනිම්..
හඩන්නට සුසුමකුත් වෙති නමුත් කදුලකින්
හඩන්නට නොදනිම්..