Total Pageviews

Friday, August 5, 2016

දන්නවද.....? විරහව විඳින්න පුළුවන්..












ආදරය සහ විරහව අතර තියෙන්නෙ සංසාරගත බැදීමක් කියලා මං කිව්වොත් කී දෙනෙක් මාත් එක්ක එකග වෙනවද? ජීවිත කාලෙදි එක පාරක් හරි ඒ අත්දැකීම ඔබ විදලා තියෙනවද? පිළිතුර ඔව් නම් අනිවාර්යෙන්ම මේ ලිපිය කියවන්න. මොකද මං මේ වදන් ටික පෙළගස්වන්නෙ අවංකව ආදරේ කරලත් ඒ ආදරේ තමන්ගෙම කරගන්න බැරිවුණු ඔයාලා වෙනුවෙන්...

ටිකක් හිතන්න...
රාම - සීතා, සාජහන් - මුම්ටාස්, දස්කොන් - ප්‍රමිලා, සිදුහත් - යශෝධරා, නොරිකො - දෙවොන්දරාසං,  දම්මි - සුගත්, වගේ අපි හොදින්ම දන්න ආදර කතා වගේම එදා මෙදා තුර  විරහ වේදනාවන් බවට පත්වුණු ආදර කතා කොයිතරම් ඇතිද? අද රේඩියෝ එක ඔන් කළත් ටීවි එක ඔන් කළත් අපිට අහන්න දකින්න ලැබෙන බොහොමයක් ගීත, විෂුවල්වල තියෙන්නෙ ඒ විරහ වේදනාව. සමහර ගීත අහගෙන ඉන්නකොට ඒ අපේම කතාව නේද කියලා අපිට දැනෙන්නෙ ඒක අපි හැමෝටම පොදු ධර්මතාවයක් හින්දා. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියලා බුදුන් වහන්සේ පවා දේශනා කරලා තියෙන්නෙ ඇත්තටම ඒ වේදනාව උන්වහන්සෙත් විදපු නිසා. 

සාරාසංඛ කල්ප ලක්ෂයක් බුදුවෙන්න පෙරුම් පුරපු හැම ආත්මෙකම යශෝධරාවත් සිදුහත් කුමාරයා එක්ක ආදරෙන් බැදුණා. අවසාන ආත්මෙදිත් ආදරෙන් බැදිලා සිදුහත් කුමාරයා ගිහිගෙයින් නික්මුණ දවසෙ යශෝධරා දේවිය කාටත් පොදු ඒ විරහ වේදනාව අත්වින්දා. ඒත් මොහොතකටවත් ඇය උන්වහන්සෙ ගැන අහිතක් හිතුවෙ නෑ. 


කැලේ තිබෙන කොයි දේවත් රස       වේවා
මලේ බඹරු මෙන් පිරිවර ඇති            වේවා
අව්වේ තිබෙන රැස් මාලා අඩු              වේවා
ගව්වෙන් ගව්ව දිව මාළිග               සෑදේවා

රම්‍ය, සුරම්‍ය, සුභ  කියන අති සුඛෝපභෝගී රජ මැදුරුවල ආහාර වළදපු උන්වහන්සේට කැළේ ගස්වල හැදෙන ගඩා ගෙඩි රස නැහැ කියලා යශෝධරා දන්නවා. ඒ නිසා ඇය කැලේ තියෙන හැමදේම රසවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කළා. හැමතැනම සේනාව පිරිවරාගෙන ඇවිදපු නිසා සිදුහත් කුමාරයගෙ ආරක්ෂාව ගැන ඇයට බයක් තිබුණෙ නෑ. ඒත් දැන් මහ වනාන්තරයක් මැද්දෙ ඔහු ඉන්නෙ තනිවම. ඒ නිසා ඇය උන්වහනසේට පරිවාර සම්පත්ති ලැබෙන්න ප්‍රාර්ථනා කළා. ඒ විතරක් නෙමෙයි අව්වෙ රැස්මාලාවන් අඩු වෙන්න වගේම උන්වහන්සේට ගිමන් නිවාගන්න මහ වනාන්තර මැද දිව්‍ය මාළිග ඉදිවෙන්න කියලා ඇය ප්‍රාර්ථනා කළා. අන්න ඒකට තමයි ආදරේ කියන්න.

ආදරේ කරද්දි තමන්ගෙ සතුට ගැන හිතනවට වඩා අපි හිතන්න ඔිනෙ අනිත් කෙනාගෙ සතුට ගැන. එයාගෙ සතුට ඔයා ළග නැත්නම් ඒ කෙනාට යන්න දෙන්න. ආදරේ කවදාවත් බලෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම ලබාගත්තත් ඒ සතුට තාවකාලිකයි. 

මතක තියාගන්න හැමදේම අස්ථීර ලෝකෙක කවදාවත් ආදරය විතරක් ස්ථාවර  වෙන්නෙ නෑ. ඒ නිසා විරහව වේදනාවක් කරගන්න එපා. ඔයා දුකින් උනාට ඔයා ආදරේ කරපු කෙනා හරි සතුටින් ඉන්නවා නම් ඒක කොච්චර දෙයක්ද. ඇයි ඔයාට බැරි එහෙම හිතන්න? ආදරය   කියන්නෙ ඒ සිතුවිල්ලට නේද? එතකොට ඔයාට  විරහව වුනත් විදින්න පුළුවන්. එහෙම වුණොත් කවදාවත් ආදරය නිසා ජීවිතය අත් හරින්න එහෙමත් නැත්තන් තමන් ආදරය කරන කෙනාගෙ ජීවිතය උදුරගන්න ඔයා පෙළඹෙන එකක් නෑ. මොකද ආදරය කියන්නෙ ඒ තරමටම පිවිතුරු හැගීමක් නිසා...

2 comments:

  1. api pathana hamadeyakma labenneth na. me loke sthirayi kiyala kiyanna puluwam deyakuth ne. namuth aka deyak thiyenawa a thamai maranaya asthira lowa thula sthira akama deya

    ReplyDelete