Total Pageviews

Monday, February 5, 2018


ගල්ගමුව ඇත් රජාණනි... ඔබට නිවන් සුව ලැබේවා

බෝධිසත් ගුණ පූරණය කළ අකම්පිත වූ ඇත් රජාණනි..
දරාගන්නට නොහැකි විලසින් සලිත විය සිත ඇසූ පුවතෙනි..
උඹේ සුසුමෙහි බර නොහදුනන අදම මිනිසුන් පිරි නිසාවෙනි..
මහා වනයක හුදෙකලාවම අහිංසක උඹෙ දෙනෙත පියවුණි..
පූට්ටුව ගිය දළ යුග්මයෙහි වටිනකම උඹ නොදැන ඉන්නැති..
ඒ නිසාවෙන් අනිත් උන් මෙන් නිදහසේ දිවි ගෙවන්නට ඇති..
ධන ලෝභයෙන් උමතු කෑදර උන්ට උඹ ගැන ඉව වැටෙන්නැති..
තිස් දෙකම වද දිදී සිරුරේ රුහිරු විද දළ ගලවගන්නැති..
ඇතෙකුගේ මතු භවය මිනිසෙකු බව කියනු උඹටත් ඇසී ඇති..
මතු ආත්මයෙ මිනිස් භවයක් ලබන්නට පෙරුමන් පුරන්නැති..
හුස්ම පොද නික්මෙනා මොහොතේ මිනිස් නුහුගුණ පසක් වෙන්නැති..
කිසිදු භවයක මිනිසෙකුව උපදින්න නොලැබේවයි පතන්නැති..
උපතින්ම ලද දළ යුග්මයක අරුමයයි නෙත් බොඳ කළේ..
නිහඬවම උඹ විදපු දුක් ගිනි දේව පුටු නැහැ උණු කළේ..
සද්දන්ත කුලයේ උනත් උඹ අපට විපතක් නැහැ කළේ..
දිරාපත් උණු බිදුණු ඇට කටු ලෝකයක් කම්පා කළේ..
සිතුවමුත් සිඳ උඹේ පණ නල විඳින්නට නිති රජ සැපා..
පසුතැවුම පමණක්ය උරුමය ගත්තවුන් හට දළ කපා..
තිරිසනෙකි උඹ එහෙත් යහපත්, වසලයන් ගතවෙයි අපා..
කිසිදු භවයක නොමිනිසුන් මැද උපත ලබනට නම් එපා..
- ඉමේෂා දිල්හානි -
Image may contain: outdoor and nature

Wednesday, November 9, 2016


අමරණීය අමරදේවයන්...














දරණීය තලයම නිසලය..
අප හදවත් පමණක් සසළය...
මරණීය වේදනාවකි එය..
ඔබ මළවුන් අතරය...

රමණීය කවියකි ඔබ...

සොබා දම් මව් අතින් ලියැවුණ..
අමරණීය මිනිසෙකි ඔබ..
සවනතෙහි සුමධුරව සුගැයෙන...

Tuesday, September 6, 2016


උඹට පිටු පෑ පළමු දිනයම අම්මේ පොඩි පුතු මියැදුණා..


















දෙනෙත තෙමමින් ගලන කදුළැලි නිමක් නෑ සුදු අම්මේ..
මගෙ සුසුම් හඩ ඇසෙන දුරකට වරෙන් දුවගෙන අම්මේ..
හෙටින් පසු උඹ දකින්නට මට වෙන්නෙ නෑ  මගෙ අම්මේ..
නරකාදියක ඉපදුනත් කම් නෑ වරක් දැක උඹ අම්මේ..

මතක් වෙනවා දුන්නු ඔවදන් තුරුළු කොටගෙන උඹේ පපුවට..
එන්න ආසයි මියෙන මොහොතේ වාරු වෙන්නට උඹේ ඇකයට..
නරක මිතුරන් ඇසුරු කරනට ලැබුණෙ අම්මේ කරපු පවකට..
එපා අම්මේ පුතුව සිහි කර බාර දෙන්නට දිවිය කදුළට..

බිව්ව කිරිවල ණය ගෙවන්නට මේ භවයෙදී බැරිවුණා..
ලොවක් ඉදිරියේ මිනීමරුවෙකු ලෙස වරදකරුවා වුණා..
වැරදි මග ගිය මගේ ජීවය පෝරකය ළග නැවතුණා..
උඹට පිටු පෑ පළමු දිනයම අම්මේ පොඩි පුතු මියැදුණා..

නැතේ පැතුමක් දිවි ගෙවන්නට නපුරු ලෝකෙක වී මුලා..
හිතේ මිමුණුම් පමණි අම්මේ මගේ මුව අද ගොලු වෙලා..
පුතේ කියමින් මා මැරුණ පසු උඹ අඩන හැටි සිහිවෙලා..
නෙතේ කදුළැලි අලුත් වී යළි  කොපුල් තෙමමින් යයි ගලා..

අයදින්න බෑ සමාදෙන්නැයි එයත් වෙයි මට  පාපයක්..
ලබාගන්ට කුසල් බිදුවක් අම්මෙ දෙනවද දානයක්..
තවත් භවයක ඉපදුනොත් මම ලබා මිනිසත් භාවයක්..
උඹේ කුස තුළ වරම් දෙනවද අම්මෙ ලබනට ජීවයක්..

Tuesday, August 30, 2016


......විද්‍යා.......
( විද්‍යලා මේ ලොවෙහි කවදාක සැනසේද..)



















උපන්දා ඉදළාම මව් තුරුළෙ සැනසුනා..
සොදුරු ලෝකයක මං පෙත් සොයා ඉගිළුනා..
නපුරු බව නොදැන සැම දෙනා හා හිනැහුනා..
මගෙ නොවන මගෙම අයගෙන්ම මා කෙළෙසුනා.. 

ඇයි අම්මේ නොකිව්වේ කලින් මට මේ බවක්..
මං වගේ සුවද මල් වුණිද ලෝකෙට බරක්..
ගැහැණියක වීම ගැන දැනුනේ මට ලොකු දුකක්..
මැරී ඉපදුනා සිතින් දස දහස් වාරයක්..

දිනක්වත් දෙවියො අදහන්න බැරි කළේ නෑ..
ඒ දෙවියො මගෙ දිහා හැරිලාවත් බැලුවෙ නෑ..
කුරා කුහුඹුවෙකුටවත් වැරැද්දක් කළේ නෑ..
ගැස්ම නැති හුස්මකින් මට කිසිත් ඵලක් නෑ..

මා මෙන්ම නුඹලාද මව් කුසින් බිහි වුණේ..
සොයුරියක දුවක ලෙස මාව ඇයි නොපෙනුණේ..
ගැහැණියක් කෙලෙසන්න කෙලෙසදෝ සිත් වුණේ..
මා නෙමෙයි  නුඹලගේ සිතුවිළියි කෙළෙසුනේ..

මං වගේ කොතෙක් මල් තව මුකුළිතව  ඇතිද..
දෙවියනේ කාට නම් මෙහි වරද පවරමිද..
මිනිස්කම් මිනිසුන්ගේ හදවතෙහි නොපවතිද..
විද්‍යලා මේ ලොවෙහි කවදාක සැනසේද..

Friday, August 26, 2016


මුදල් නොවෙයි මහතුනි මම ජීවිතයයි යදින්නේ..


















අහන්න නෑ කිසිම කෙනෙක් කාටද දුක කියන්නේ..
දරුවො දෙන්නා කුසගින්නේ කොහොමද එය දරන්නේ..
දුප්පත් වුණු පවට තමයි මහමග දිවි ගෙවන්නේ..
මුදල් නොවෙයි මහතුනි මම ජීවිතයයි යදින්නේ..

දුකක් නැතිව හිටපු කාලයක් අපිටත් තිබුණා..
ඒත් සසර පවකට මගෙ හිමි අකාලෙ මැරුණා..
ඔහු එක්කම මියැදෙන්නට නේක වරක් සිතුණා..
දරුවො දෙන්නා අනාථ වෙයි ඒ ගැන බිය දැනුණා..

ලේ බිදුවක් නැතිව ඇගේ නෑ මට කිරි එරෙන්නේ..
කිසිත් නොදත් කිරි දරුවට නෑ ඒ වග දැනෙන්නේ..
කිරි ඒවියි සිතා පුතා මගෙ තණ පුඩු විකන්නේ..
පපුව බලන මහත්තුරුනි නැතුවද ළය පෙනෙන්නේ..

අප වැනි උන් මේ ලෝකෙට තවත් පහළ වේවි..
දුක ඇති තැනටම දෙවියොත් තව දුක ගෙන දේවී..
ආලෝකය දුර පහනක් සැනසුම නොගෙනේවී..
රජුන් තනන්නට හිමියනි මට නම් බැරි වේවි..

Friday, August 19, 2016



පෙම්වතියකගෙන් බිරිදකට ලියමනක්.........

















හිමිව ඇති මුත් ඔහුව ඔබට දැන් නීතියෙන්..
හැමදාම  හිමිකාරී මමයි මුළු හදවතින්..
පතා ආවෙමි ඔහුම සසර දිග ඇවිදිමින්..
කල්පයක ගමන් මග නොනවතියි නුඹ ළගින්..

බැදුණු රන් හුයක් සිද දැමීමට අවැසි නෑ..

මේ භවයෙ ඔබට මිස මට ඔහුව අයිති නෑ..
පිය සෙනෙහෙ දරුවන්ට අහිමි වී යන්නෙ නෑ..
හදවතින් මිස ගතින් ඔහු ළගට එන්නෙ නෑ..

පුරා සද අහසට අද අහිමි වී ගොසින්..

තිබුණමුත් තාරකා ඵල කිමද මට ඉතින්..
බැස ගියෙන් සදු ඇවිත් එළිය ගෙන මොහොතකින්..
වැසී ගොස් සිත් අහස විසල් ඝන අදුරකින්..

කළෙන් පෙර අකුසල් අද මෙසේ වැළපෙමී..

රන් කෙන්ද නෙලිහෙන්න ඉඩ නොදෙමි දිව්රමී..
ඔබෙන් කිසිවක් එපා මෙපමණක් ඉල්ලමී..
තවත් භවයෙක ඔහුව නොපතන්න අයදිමී.. 

Wednesday, August 17, 2016


ඇහැරෙන්නට පෙර සමුගෙන ගිය නුඹ
තවමත් මට හීනයක් වගේ..














ඔහු කීවේ ඔහුට මා නොමැතිව 
ජීවත් වෙන්නට බැරි බවය..
නමුත් අද මා නොමැතිව ඔහු ජීවත් වෙයි..
මා සිතුවේ ඔහු නොලැබුනොත්
මා මිය යනු ඇති බවය..
එහෙත් අද මමද ඔහු නොමැතිව ජීවත් වෙමි..
ඔහුට මා නොමැතිව
මට ඔහු නොමැතිව
ජීවත් විය හැකි නම්
අප අතර ආදරයක් තිබුණිද යන්න ගැටලුවකි..
එහෙත් ආදරයක් නොතිබුණි යැයි 
කියන්නට බැරිය..
ඒ මසිතේ වේදනාවක් ඉතිරිව ඇති නිසාය..
පසුතැවීමක් නැත..
ඔහුට මා නොමැති වූවාට ඇය හිදියි..
එහෙත් නෙතෙහි කදුළක් ඇත..
ඒ ඔහු නොමැතිව මා තනි වූ බැවිනි..
මේ වේදනාව 
මට පමණක් වූ නිසා මට දුකය..
එහෙත් ඇයගේ ලොවෙහි ඔහු සතුටිනි..
ඒ ගැන සතුටුය..