Total Pageviews

Tuesday, September 6, 2016


උඹට පිටු පෑ පළමු දිනයම අම්මේ පොඩි පුතු මියැදුණා..


















දෙනෙත තෙමමින් ගලන කදුළැලි නිමක් නෑ සුදු අම්මේ..
මගෙ සුසුම් හඩ ඇසෙන දුරකට වරෙන් දුවගෙන අම්මේ..
හෙටින් පසු උඹ දකින්නට මට වෙන්නෙ නෑ  මගෙ අම්මේ..
නරකාදියක ඉපදුනත් කම් නෑ වරක් දැක උඹ අම්මේ..

මතක් වෙනවා දුන්නු ඔවදන් තුරුළු කොටගෙන උඹේ පපුවට..
එන්න ආසයි මියෙන මොහොතේ වාරු වෙන්නට උඹේ ඇකයට..
නරක මිතුරන් ඇසුරු කරනට ලැබුණෙ අම්මේ කරපු පවකට..
එපා අම්මේ පුතුව සිහි කර බාර දෙන්නට දිවිය කදුළට..

බිව්ව කිරිවල ණය ගෙවන්නට මේ භවයෙදී බැරිවුණා..
ලොවක් ඉදිරියේ මිනීමරුවෙකු ලෙස වරදකරුවා වුණා..
වැරදි මග ගිය මගේ ජීවය පෝරකය ළග නැවතුණා..
උඹට පිටු පෑ පළමු දිනයම අම්මේ පොඩි පුතු මියැදුණා..

නැතේ පැතුමක් දිවි ගෙවන්නට නපුරු ලෝකෙක වී මුලා..
හිතේ මිමුණුම් පමණි අම්මේ මගේ මුව අද ගොලු වෙලා..
පුතේ කියමින් මා මැරුණ පසු උඹ අඩන හැටි සිහිවෙලා..
නෙතේ කදුළැලි අලුත් වී යළි  කොපුල් තෙමමින් යයි ගලා..

අයදින්න බෑ සමාදෙන්නැයි එයත් වෙයි මට  පාපයක්..
ලබාගන්ට කුසල් බිදුවක් අම්මෙ දෙනවද දානයක්..
තවත් භවයක ඉපදුනොත් මම ලබා මිනිසත් භාවයක්..
උඹේ කුස තුළ වරම් දෙනවද අම්මෙ ලබනට ජීවයක්..