Total Pageviews

Wednesday, November 9, 2016


අමරණීය අමරදේවයන්...














දරණීය තලයම නිසලය..
අප හදවත් පමණක් සසළය...
මරණීය වේදනාවකි එය..
ඔබ මළවුන් අතරය...

රමණීය කවියකි ඔබ...

සොබා දම් මව් අතින් ලියැවුණ..
අමරණීය මිනිසෙකි ඔබ..
සවනතෙහි සුමධුරව සුගැයෙන...

Tuesday, September 6, 2016


උඹට පිටු පෑ පළමු දිනයම අම්මේ පොඩි පුතු මියැදුණා..


















දෙනෙත තෙමමින් ගලන කදුළැලි නිමක් නෑ සුදු අම්මේ..
මගෙ සුසුම් හඩ ඇසෙන දුරකට වරෙන් දුවගෙන අම්මේ..
හෙටින් පසු උඹ දකින්නට මට වෙන්නෙ නෑ  මගෙ අම්මේ..
නරකාදියක ඉපදුනත් කම් නෑ වරක් දැක උඹ අම්මේ..

මතක් වෙනවා දුන්නු ඔවදන් තුරුළු කොටගෙන උඹේ පපුවට..
එන්න ආසයි මියෙන මොහොතේ වාරු වෙන්නට උඹේ ඇකයට..
නරක මිතුරන් ඇසුරු කරනට ලැබුණෙ අම්මේ කරපු පවකට..
එපා අම්මේ පුතුව සිහි කර බාර දෙන්නට දිවිය කදුළට..

බිව්ව කිරිවල ණය ගෙවන්නට මේ භවයෙදී බැරිවුණා..
ලොවක් ඉදිරියේ මිනීමරුවෙකු ලෙස වරදකරුවා වුණා..
වැරදි මග ගිය මගේ ජීවය පෝරකය ළග නැවතුණා..
උඹට පිටු පෑ පළමු දිනයම අම්මේ පොඩි පුතු මියැදුණා..

නැතේ පැතුමක් දිවි ගෙවන්නට නපුරු ලෝකෙක වී මුලා..
හිතේ මිමුණුම් පමණි අම්මේ මගේ මුව අද ගොලු වෙලා..
පුතේ කියමින් මා මැරුණ පසු උඹ අඩන හැටි සිහිවෙලා..
නෙතේ කදුළැලි අලුත් වී යළි  කොපුල් තෙමමින් යයි ගලා..

අයදින්න බෑ සමාදෙන්නැයි එයත් වෙයි මට  පාපයක්..
ලබාගන්ට කුසල් බිදුවක් අම්මෙ දෙනවද දානයක්..
තවත් භවයක ඉපදුනොත් මම ලබා මිනිසත් භාවයක්..
උඹේ කුස තුළ වරම් දෙනවද අම්මෙ ලබනට ජීවයක්..

Tuesday, August 30, 2016


......විද්‍යා.......
( විද්‍යලා මේ ලොවෙහි කවදාක සැනසේද..)



















උපන්දා ඉදළාම මව් තුරුළෙ සැනසුනා..
සොදුරු ලෝකයක මං පෙත් සොයා ඉගිළුනා..
නපුරු බව නොදැන සැම දෙනා හා හිනැහුනා..
මගෙ නොවන මගෙම අයගෙන්ම මා කෙළෙසුනා.. 

ඇයි අම්මේ නොකිව්වේ කලින් මට මේ බවක්..
මං වගේ සුවද මල් වුණිද ලෝකෙට බරක්..
ගැහැණියක වීම ගැන දැනුනේ මට ලොකු දුකක්..
මැරී ඉපදුනා සිතින් දස දහස් වාරයක්..

දිනක්වත් දෙවියො අදහන්න බැරි කළේ නෑ..
ඒ දෙවියො මගෙ දිහා හැරිලාවත් බැලුවෙ නෑ..
කුරා කුහුඹුවෙකුටවත් වැරැද්දක් කළේ නෑ..
ගැස්ම නැති හුස්මකින් මට කිසිත් ඵලක් නෑ..

මා මෙන්ම නුඹලාද මව් කුසින් බිහි වුණේ..
සොයුරියක දුවක ලෙස මාව ඇයි නොපෙනුණේ..
ගැහැණියක් කෙලෙසන්න කෙලෙසදෝ සිත් වුණේ..
මා නෙමෙයි  නුඹලගේ සිතුවිළියි කෙළෙසුනේ..

මං වගේ කොතෙක් මල් තව මුකුළිතව  ඇතිද..
දෙවියනේ කාට නම් මෙහි වරද පවරමිද..
මිනිස්කම් මිනිසුන්ගේ හදවතෙහි නොපවතිද..
විද්‍යලා මේ ලොවෙහි කවදාක සැනසේද..

Friday, August 26, 2016


මුදල් නොවෙයි මහතුනි මම ජීවිතයයි යදින්නේ..


















අහන්න නෑ කිසිම කෙනෙක් කාටද දුක කියන්නේ..
දරුවො දෙන්නා කුසගින්නේ කොහොමද එය දරන්නේ..
දුප්පත් වුණු පවට තමයි මහමග දිවි ගෙවන්නේ..
මුදල් නොවෙයි මහතුනි මම ජීවිතයයි යදින්නේ..

දුකක් නැතිව හිටපු කාලයක් අපිටත් තිබුණා..
ඒත් සසර පවකට මගෙ හිමි අකාලෙ මැරුණා..
ඔහු එක්කම මියැදෙන්නට නේක වරක් සිතුණා..
දරුවො දෙන්නා අනාථ වෙයි ඒ ගැන බිය දැනුණා..

ලේ බිදුවක් නැතිව ඇගේ නෑ මට කිරි එරෙන්නේ..
කිසිත් නොදත් කිරි දරුවට නෑ ඒ වග දැනෙන්නේ..
කිරි ඒවියි සිතා පුතා මගෙ තණ පුඩු විකන්නේ..
පපුව බලන මහත්තුරුනි නැතුවද ළය පෙනෙන්නේ..

අප වැනි උන් මේ ලෝකෙට තවත් පහළ වේවි..
දුක ඇති තැනටම දෙවියොත් තව දුක ගෙන දේවී..
ආලෝකය දුර පහනක් සැනසුම නොගෙනේවී..
රජුන් තනන්නට හිමියනි මට නම් බැරි වේවි..

Friday, August 19, 2016



පෙම්වතියකගෙන් බිරිදකට ලියමනක්.........

















හිමිව ඇති මුත් ඔහුව ඔබට දැන් නීතියෙන්..
හැමදාම  හිමිකාරී මමයි මුළු හදවතින්..
පතා ආවෙමි ඔහුම සසර දිග ඇවිදිමින්..
කල්පයක ගමන් මග නොනවතියි නුඹ ළගින්..

බැදුණු රන් හුයක් සිද දැමීමට අවැසි නෑ..

මේ භවයෙ ඔබට මිස මට ඔහුව අයිති නෑ..
පිය සෙනෙහෙ දරුවන්ට අහිමි වී යන්නෙ නෑ..
හදවතින් මිස ගතින් ඔහු ළගට එන්නෙ නෑ..

පුරා සද අහසට අද අහිමි වී ගොසින්..

තිබුණමුත් තාරකා ඵල කිමද මට ඉතින්..
බැස ගියෙන් සදු ඇවිත් එළිය ගෙන මොහොතකින්..
වැසී ගොස් සිත් අහස විසල් ඝන අදුරකින්..

කළෙන් පෙර අකුසල් අද මෙසේ වැළපෙමී..

රන් කෙන්ද නෙලිහෙන්න ඉඩ නොදෙමි දිව්රමී..
ඔබෙන් කිසිවක් එපා මෙපමණක් ඉල්ලමී..
තවත් භවයෙක ඔහුව නොපතන්න අයදිමී.. 

Wednesday, August 17, 2016


ඇහැරෙන්නට පෙර සමුගෙන ගිය නුඹ
තවමත් මට හීනයක් වගේ..














ඔහු කීවේ ඔහුට මා නොමැතිව 
ජීවත් වෙන්නට බැරි බවය..
නමුත් අද මා නොමැතිව ඔහු ජීවත් වෙයි..
මා සිතුවේ ඔහු නොලැබුනොත්
මා මිය යනු ඇති බවය..
එහෙත් අද මමද ඔහු නොමැතිව ජීවත් වෙමි..
ඔහුට මා නොමැතිව
මට ඔහු නොමැතිව
ජීවත් විය හැකි නම්
අප අතර ආදරයක් තිබුණිද යන්න ගැටලුවකි..
එහෙත් ආදරයක් නොතිබුණි යැයි 
කියන්නට බැරිය..
ඒ මසිතේ වේදනාවක් ඉතිරිව ඇති නිසාය..
පසුතැවීමක් නැත..
ඔහුට මා නොමැති වූවාට ඇය හිදියි..
එහෙත් නෙතෙහි කදුළක් ඇත..
ඒ ඔහු නොමැතිව මා තනි වූ බැවිනි..
මේ වේදනාව 
මට පමණක් වූ නිසා මට දුකය..
එහෙත් ඇයගේ ලොවෙහි ඔහු සතුටිනි..
ඒ ගැන සතුටුය..

Saturday, August 13, 2016


රටක් හඩයි  ඔබ නිහඩයි ඇයි විජය..




සෙළවෙයි කම්පිතව අද ජාතික ධජය..
කලා ලොවෙහි විරුවෙකු හැරගොස් නිජය..
කා සමගත් මිතුරෙකු ලෙස වී ගජය..
රටක් හඩයි  ඔබ නිහඩයි ඇයි විජය..

නිරතුරු සිනහවක් විය මුහුනෙහි රැදුණූ..
රගබිම අද සමනලයෙකි තටු සිදුණූ..
සැකසිය හැකිද වීදුරු බදුනක් බිදුණූ..
මකා දමනු බෑ ඔබ රුව සිත ඇදුණූ..

ආදර පියෙක් සැමියෙක් මිතුරෙක් සේම..
දිවි ගෙවු විජය ඔබ මිනිසෙකි අසමසම..
ජීවන රග මඩල මේ ලෙස වුවත් නිම.. 
මතක පොතේ පිටු මුමුණයි ඔබේ නම..

උපන්නොත් කෙනෙක් මරණය උරුමයකී..
විජයට සම පදයකි එය සිනහවකි..
මතක් කරනු මිස අමතක කළ නොහැකී..
ඔබ නැති අඩුව පිරවුනොතින් අරුමයකී..

මනමෙ කුමරුටත් යලි ජීවය  දුන්න..
කලා ලොවෙහි ඔබ ඉටු දෙවියෙකු වැන්න..
බැරිවෙයි ඔබ මතක අමතක කරලන්න..
සසර පුරා අප අතරම ඉපදෙන්න..