Total Pageviews

Saturday, July 30, 2016

මදුරාපුර වැසියෙකුගේ හදගැස්ම




මෑණියනී පත්තිනී.. මගේ දුක අසාපන්..
නුඹෙ කෝප ගින්නෙන්ම මා ගතත් දවාපන්..
සැමියා මියගිය දුකට අපෙ වරද   කියාපන්..
මගේ පත්තිනිය නෑ කොහෙද ඈ සොයාපන් ..

කුලී වැඩ කළේ මා අප දිවිය රැකගන්න..
සෙවනැල්ල මෙන් නිතර ඇය සිටියා සවි දෙන්න..
හිග වුවත් මිල මුදල් ජීවිතය ගෙනයන්න..
සතුට සැනසුම අපිට තිබුණා නිති ඇතිවෙන්න..

 කිසිවිටත් ඈ වෙනත් පිරිමියෙකු පැතුවෙ නෑ..
මගෙ තිබුණු අඩු පාඩු ගැන දොසක් කීවේ නෑ
වදනකින් පවා මට වැරැද්දක් වුණේ නෑ..
දිළිදුකම පතිදමට හානියක් කළේ නෑ..

දෙවියනී ඔබ මෙන්ම ඇයද විය ගැහැණියක්..
පතිනිදම් ඔප්පු කළ ඔබ වුණා දේවියක්..
ලෝකයට නැතිවුනත් මගෙ බිරිය පතිනියක්..
රැකගත්ත පතිදමට නැද්ද වටිනාකමක්..

සැමියගේ වියෝවෙන් කෝප ගිනි ඇවිලුනේ..
මගෙ ගෙදර පහන නෑ එයින් පසු දැල්වුනේ..
බුදු වු දිනකවත් මට කියාපන් දෙවියනේ..
දිළිදුකම වරදක්ද  පතිනිදම් යටවුනේ..

Friday, July 29, 2016

තරුවක හදගැස්ම















අහිතක් නෑ මගෙ නොවුනට සද සාවියෙ මං..
දුරින් ඉදන් පෙම් කරනා තනි තරුවක් මං..
නුඹෙ අයිතිය හිරු කුමරුට බව දැනුනා නම්..
තරු පොකුරෙම ඉන්න තිබුණා තනි නෑ එහෙනම්..

රැයක් දවාලක් නොමැතිව නුඹ ළග සිටියත්..
උරුම වෙන්නෙ නෑ මට නුඹගේ සිසිලසවත්..
නුඹ නිහඩයි නෑ වදනක් හිත හදන්නවත්..
අමාවකෙත් මග බැලුවා නොඑන බව දැනත්..

ළග බව දැනුනත් නුඹ මට හැමදාමත් දුරයි..
මම පුංචියි කවදත් මම නුඹෙ එළියට යටයි..
නුඹ දන්නේ නෑ කිසිවක් දුක දැනුණේ මටයි..
හිරු නිවුනත් නොනිවී සිටි එකම තරුව මමයි..

Thursday, July 28, 2016

දියණියකගෙ හදගැස්ම (මණිමේඛලා)
















සිහිනෙකින් පවා දැක නැතත් මා මගෙ පියා..
කෝවලන්ගේම දූ මමයි මණිමේඛලා..
මතක දා පටන් මෑණියන් ඇස් බොදවෙලා..
පියාණෙනි ඈ හැඩුවෙ ඔබෙ මතක සිහිවෙලා..

නැළවුවේ ඈ මාව ඔබේ ගුණ ගය ගයා..
දැකගන්න ඔබේ රුව සිටියෙ මා පුල පුලා..
මෑණියන් සිටි ලෙසම නිතර මග බල බලා..
මාද සිටියා ඇගේ උණුහුමට ගුලි වෙලා..

කන්නගී නමින් තව මවක් සිටිනා බවක්..
මාධවී මෑණියන් කීවෙ ගොතලා කවක්..
දේවතාවියක් බදු පිංවන්ත රූපයක්..
මැවුණා මා දෙනෙත් අග දස දහස් වාරයක්..

ගිහිගෙයට කැමැත්තක්  නෑ තිබුණෙ මා සිතේ
ඒ නිසයි කහ සිවුර දැවටුවේ මා ගතේ..
පියානෙණි මැණික මම බව දනිමි ඔබ නෙතේ..
ඒත් ඔබ නොකියාම අද නික්ම ගොස් ඇතේ..

කන්නගී මෑණියනි පැමිණියෙමි ඔබ සොයා..
කී ලෙසම මෑණියන් පෙන්නුවා ඔබ දයා..
දනිමි මා මතු දිනෙක ඔබ බුදුන් වෙන නියා..
ඒ භවයෙදීවත් මුණගස්වන්න මා පියා..


Wednesday, July 27, 2016

නෘත්‍ය රාජිනියකගේ හදගැස්ම (මාධවී)


















කෝවලන්... සත්තකයි මා ඔබට පෙම් කළා..
පළමු දැකුමෙන්ම ඔබ මගේ හද ගෙන ගියා..
දිදුළනා ඔබෙ දෑස මාව මුසපත් කළා
දිවි පුරා ඔබෙ වෙන්න මං මටම දිවුරුවා..

මුළු ලොවක් ඉදිරියේ මට ඔබව හිමිවුණා..
අමතකද ඔබ එදා මගෙ නළල සැරසුවා..
සිරියහනෙ කිව් කතා මාව නිති සැනසුවා..
කෝවලන් සත්තකයි මා ඔබට පෙම් කළා..

ඔබ මෙන්ම ඔබෙ සිරුර මගේ යැයි කිව් දිනේ..
සිතුණා මට හැම භවේ ඔබය මගෙ හිමි වුණේ..
මේ භවයෙදිත් ඔබව අහිමි බව සැළවුණේ..
එදිනමයි මගෙ කුසට මේඛලා පැළදුනේ..

දරාගත නොහී මා හැමදාම වැළපුණා..
ඒ හඩින් මුළු ලොවක් කම්පිතව සෙළවුණා..
කන්නගී හැර ඔබට කිසිවෙකුත් නොපෙණුනා..
කිරි කළය ඇය ඔබට ගොම බිදුව මම වුණා..

අදුරු මාවතක ඔබ මා අතරමං කළා..
මගෙ එකම සැනසීම වුණේ මණිමේඛලා..
ඔබෙ නමින් හද තුටින් ඇයව ඇති දැඩි කළා..
මියෙනතුරු කෝවලන් මා ඔබට පෙම් කළා..
සැමියෙකුගෙ හදගැස්ම  (කෝවලන්)















කන්නගී.....

උඹට මතකද ඒ ලස්සන දවස්..
අපි දෙන්නා කොච්චර සතුටින් හිටියද
අනේ මන්දා  කාගෙ ඇස්වහක් වැදුනද කියලා..

මට එදා මාධවීගෙ නැටුම් බලන්න යන්න
ඇදුමක් තෝරලා දුන්නෙත් උඹ..
උඹේ හිතේ අහිතක් තිබුණෙ නෑ..
ඒ ගමන අපේ ජීවිත හුගක් වෙනස් කළා කන්නගී..
ඒත්... මාව විශ්වාස කරපං..
උඹට වැරැද්දක් කරන්න මගෙ තුන් හිතකවත් තිබුණෙ නෑ..

මට දාව දරුවෙක් වදලා දෙන්න බැරි වුණාට
කවදාවත් අපේ සිරියහන මට එපා වුණේ නෑ..
ඒ තරමටම උඹ මට ආදරේ දුන්නා..
ඒ ආදරේට මං වැරැද්දක් කළේ නෑ කන්නගී
මොකද මං කවදාවත් මාධවීට ආදරේ කළේ නෑ..

මාධවීගේ සරාගී ඇස්වලට මං වශී වුණා
එක මෙහොතකට මට මාවම අමතක වුණා..
මගෙ තිබුණු හැම දේපළක්ම විතරක් නෙමෙයි
උඹට උරුම මණිමේඛලාවත් මාධවීට අයිති වුණා..

උඹ වැරදි නෑ කන්නගී...මාධවී වැරදිත් නෑ
උඹලා දෙන්නගෙම වැරදිකාරයා මම..
ඒ වැරැද්දට මට දඩුවම් ලැබුණා..
මණිමේඛලාව නොදැකම මට මැරෙන්න වුණේ ඒ හින්දා..

උඹ සදහටම මගෙ පත්තිනිය..
ඒක මට විතරක් නෙමෙයි උඹ මුළු ලෝකෙටම ඔප්පු කළා..
කවදහරි උඹ බුදු වෙන දවසක
උඹෙන් එකම එක  බණ පදයක් අහන්න
උපදින හැම භවයකම මං  පෙරුම් පුරනවා..
එදාටවත් උඹ මං වෙනුවෙන් රැකගත්ත පති දහමට
වටිනාකමක් ලැබෙයි කන්නගී...




Tuesday, July 26, 2016

පතිනියකගේ හදගැස්ම (කන්නගී)

Sunday, July 24, 2016




බඹරෙකු සොයා යන මලක්














මල් බඹරු හොයාගෙන යන් නැති බව ඇත්ත..
ඒත් මං යනවා..
ඒ බඹරු මං ළගට එන් නැති නිසා නෙමෙයි
මං කැමති බඹරව හොයාගන්න..
බඹරෙකුට පුළුවන් නම්
තමන් කැැමති මලක් හොයාගෙන යන්න
ඇයි මලකට බැරි..
ඇත්ත.. බඹරුන්ට වගේ මට ඉගිලෙන්න බෑ..
ඒත් මගෙ සුවදට පුළුවන්
මං කැමති කෙනා ළගට මාව එක්කගෙන යන්න..
මං යනවා
ඒ ගමන මගෙ මරණයෙන් කෙළවර වුණත්.......?
මං යනවා.